advertistment

advertistment

Sunday, February 1, 2015

සාපේක්ෂතාව නිරපේක්ෂව දැකීම හෙවත් සතුට ඇතිවීම.




සාපේක්ෂතාව යනු සාපේක්ෂව දැකිය හැකි ප්‍රපංචයක් නොවන අතර 
එය නිරපේක්ෂව නිරීක්ෂණය කළ යුතු කල්පිතයකි.

ආරම්භයේ, භෞතික විද්‍යානුකූලව A සහ B වස්තූන් දෙකක් සළකමු,
භෞතික ගති විද්‍යාවෙහිදී, සාපේක්‍ෂ ප්‍රවේගය යනු, එසේ නො‍වන බව පල කර නොමැති නම්, සාමාන්‍යයෙන් අවස්තිථි සමුද්දේශ රාමුවක් වන්නාවූ, එකම ඛණ්ඩාංක පද්ධතියක් තුලදී සිදුකෙරෙන, වස්තූන් දෙකක ප්‍රවේගයන් අතර දෛශික වෙනස වේ.
නිදසුනක් ලෙස, 
A සහ B යන අංශූන් දෙකක ප්‍රවේගයන්, දී ඇති අභ්‍යන්තර ඛණ්ඩාංක පද්ධතිය අනුව, 
පිලිවෙලින් VA සහ VB නම්, B ට සාපේක්‍ෂව A ගේ සාපේක්‍ෂ ප්‍රවේගය (B ට සාපේක්‍ෂව A ගේ ප්‍රවේගය හෝ V(A,B) ලෙසද හැඳින්වේ) යනු,
V(A,B)=V(A) -V(B) වන අතර
ප්‍රතිලෝම වශයෙන්, A ට සාපේක්‍ෂව B ගේ ප්‍රවේගය යනු,
V(B,A)=V(B) -V(A) වෙයි.
ගැලීලියානු ප්‍රගති විද්‍යාවේ දී (විශේෂ සාපේක්ෂතාවාදයේ ආචරණ නොසලකා හැරි විට) අංශු දෙකක් අතර සාපේක්ෂව ප්‍රවේගය ඕනෑම සමුද්දේශ රාමුවකදී සමාන වේ. මීට හේතුව එක් අවස්ථිතික කණ්ඩාංක පද්ධතියක සිට වෙනත් එකකට මාරු වීමේ දී ප්‍රවේග දෛශික යුගලටම පොදු වෘද්ධීය දෛශිකයක් පමණක් එක් වීමය.(ගැලිලියානු ප්‍රගති විද්‍යාවට අනුව) එබැවින් ඕනෑම ප්‍රවේග යුගලක් අතර වෙනස වෙනස් නොවේ. කෙසේ නමුත් විශේෂ සාපේක්ෂතා වාදයේ ආචරණ,ගණනයන් සදහා ගැනීමේ දී අංශු දෙකක් අතර සාපේක්ෂ ප්‍රවේගය එක් එක් ප්‍රවේගයක් විනිශ්චය කිරීම සඳහා සකසනු ලබන අවස්ථිතික ඛණ්ඩාංක පද්ධති මත රඳා පවතී. එක් ආවස්ථික කණ්ඩාංක පද්ධතියක සිට තවෙකකට වන මාරුවීමේදී එහි සිදුවන වෙනස්වීම ද වෘද්ධි උදෙසා වෘද්ධිය දෛශිකයක් එකතුවීම වඩා සංකීර්ණ වන බැවිණි.

දෙවනුව,
මානව විද්‍යානුකූලව A සහ B පුද්ගලයින් දෙදෙනෙකු සළකමු.
මානව සමාජයේ සාපේක්ෂතාව යනු සාපේක්ෂව දැකිය හැකි ඝටනා ගුණයකැයි සැම විටම බාහිර සාධක වල තෘප්තතාව මත අවසාන නිගමනය සාධනය කිරීමට හුරු වී ඇති සමාජය සලකයි.අධික වර්ෂාවේ තම බිරිඳ සහ දියණිය වෙනුවෙන් රාත්‍රි ආහාරයට පාන් ගෙඩියක් රැගෙන ඒමට යන A නම් පුද්ගලයා,තමාගේ කෙසේවෙතත් තම පවුලේ කුසගින්න මූලික කොට ගත් මානසික වේදනාවකින් පෙළෙයි.කුසගින්න මානසික ප්‍රශ්නයක්ව ඇති මොහොතේ සුපිරි රියක වේගයෙන් ඇදී යන B නම් පුද්ගලයෙකු බාහිරව පමණක් නිරීක්ෂණය කරන A,තමාට සාපේක්ෂව B කෙතරම් සැපවත් ජීවිතයක් ගත කරනවාදැයි සුසුම් හෙළයි.නමුත් සුපිරි රියක ගමන් ගන්නා B,තම බිරිඳගේ අනියම් පෙම නිසා දික්කසාද නඩුවක පැටළී ඇති ,තම දියණියගේ අයිතිය පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා නීතිඥවරුන් හමු වීමට ගොස් පැමිණෙන අයෙකු බව,එය අහ්‍යන්තර නිරීක්ෂණයකට අවස්ථාවක් නොලබන A නොදනියි.එම කරුණ A දැන සිටියේ නම්,B ට සාපේක්ෂව තමා කෙතරම් සුපිරි ජීවිතයක් ගත කරන්නේද සිතමින් කුසගින්නේ වුවත් සතුටු වනු ඇත.ඉහත සිද්ධියෙහි A සහ B හි විලෝමයද සත්‍ය එයි.එනම් අසම්පූර්ණ නිරීක්ෂණ මත පදනම්ව යම් සාධකයක් සාපේක්ෂව විශ්ලේෂණයෙන් එළැඹෙන වැරදි නිගමන නිසා මනසෙහි දුක ඇති වන අතර,එම සාධකය සම්පූර්ණ නිරීක්ෂණය මත නිරපේක්ෂව විශ්ලේෂණයෙන් මනසෙහි පෙර කී දුක ඇති නොවේ.දුක නැත යනු සතුට ඇත යන්නයි. නමුත් ගැටලුව වන්නේ සෑම සාමාජීය අවස්ථාවක්ම සම්පූර්ණව නිරීක්ෂණයට අවස්ථාව නොමැති වීමයි.නිරීක්ෂණ අවස්ථා නොමැති වුවද ඒ වෙනුවට මානවයින් සඳහා සොබාදහම බුද්ධිය පරිත්‍යාග කොට ඇත.පරිපූර්ණ නිරීක්ෂණයකින් තොරව වුවද,අදාළ සාධකය බුද්ධිමය විශ්ලේෂණයකින් පසුව අදාළ සාධකය සඳහා බොහෝ දුරට නිවැරැදි කල්පිත වලට එළැඹිය හැක.යම් සාධකයක් සඳහා අසම්පූර්ණ නිරීක්ෂණ විශ්ලේෂණය මත පදනම්ව වැරදි නිගමනයට එළැඹ මනසෙහි දුක ඇති කර ගැනීමට වඩා,අදාළ සාධකය බුද්ධිමය විශ්ලේෂණයකින් අනතුරුව එළැඹෙන කල්පිතය මත පදනම්ව දුක නැති කර ගැනීම වඩා වටින්නේය.ජීවන සාර්ථකත්වය සඳහා ඉවහල් වන්නේය.
මානව සතුට යනු ජීවී හෝ අජීවී භෞතික වස්තූන් පරිශීලනයේ සහ ලඟ තබාගැනීමේ ශක්‍යතාව මත පදනම්ව,තම ජීවිතය පිළිබඳව ඇති වන්නා වූ තෘප්තතාව ලෙස වර්තමාන සමාජය අර්ථ දක්වයි.එනම් ඉහත පැහැදිලි කිරීම අනුව සතුට තෘප්ත නොකරන්නා වූ භෞතික සාධකම, වත්මන් මානවයා පුද්ගලානුබද්ධ මානසික තෘප්තතාව මිනීමට අද ද හාවිතා කරයි.ධනයෙන් ආඩ්‍ය පුද්ගලයෙකු තමාට අහිමි දරුවන් පිළිබඳවද,කාන්තාවන් පිරිවරාගෙන සිටින පුද්ගලයකු තමාට සැබවින්ම පෙම්වතියක් නොමැති කමෙනුත් දුක් විය හැක.නමුත් බාහිර යථාත්‍ය සාපේක්ෂ භෞතිකත්වය පදනම් කොටගෙන, බාහිර සමාජය සෑම විටම ඔවුන් පිළිබඳව වැරදි නිගමන වලටම එළඹෙයි.සෑමවිටම මානසික ස්ථාවරත්වය මූලික කොටගෙන පැන නගිනු ලබන සතුට හෙවත් තෘප්තතාව නැති වන ප්‍රධානතම හේතුව වන්නේ අදාළ සමාජීය සාධකය අන්‍යයන්ට සාපේක්ෂව තමාට නැත යන සංකල්පය සමඟ සිතෙහි ඇති වන ඉච්ඡාභංගත්වයයි.එහිදී දැනට තමා සතුව පවතින සියළුම සාධක පසුපසට හෙළනු ලබන අතර,නැති සාධකය වෙනුවෙන් පමණක්ම සටන් කරයි.නැති සාධකය වෙනුවෙන් සටන් කරන අතරතුර ඇති සාධක කුමක් වුවත් තමාට අහිමි වීම,එම මොහොතට සාපේක්ෂව ඔහුට අදාළ නැත.ඒ අහිමි වූ සාධක පිළිබඳව යට කී ලෙසම මනස පෙළීම ඇරඹෙන්නේ සටන් කළ මුල් සාධකය හිමි වීමෙන් අනතුරුවය.නැවත එම සාධකය ද ඇතුළුව ඉතිරි සියළු සාධක යලිත් පසුපසට යන අතර,නැති වූ සාධක වෙනුවෙන් යලිත් සුපුරුදු සටන ඇරඹෙයි.එනම් නැති සාධක,ඇති සාධකවලට වලට සාපේක්ෂව ඉතා ඉහළ වටිනාකමක් දරන අතර,ඒ අනුව යම් සාමාජීය සාධකයක වටිනාකම, ''ඇති'' සහ ''නැති''  අන්ත දෙක අතර දෝලනය වෙයි.මානව මානසිකත්වය සතුට සහ දුක අතර අනුවර්තීය චලිතයක යෙදෙන්නේ එළෙසය.
අවසානයේ,ඇති සාධකයන් නිරපේක්ෂවද,නැති සාධකයන් සාපේක්ෂවද නිරීක්ෂණය කළ හැකි නම් එම මොහොත තමාව නිවැරදිව දැකීමේ ආරම්භය ලෙස සැලකිය හැක.එවිට තමාට ඇති සාධක පිළිබඳව උපේක්ෂාව ද ,නැති සාධක පිළිබඳව වීර්යය ද පහළ වනු ඇත.සරලව සැලකුවහොත් වර්තමානයේ සතුට බලාත්මකව පවතිනු ඇත.නමුත් එහිදී නැති සාධක වෙනුවෙන් දියත් කරනු ලබන සටන වඩාත් තීව්‍ර ලෙස දියත් කළ යුතුය.මන්දයත් වත්මන් සතුටට සාපේක්ෂව උච්ච සතුටක් අනාගතයේදී මනසෙහි ඇති වන්නේ,වත්මන් සතුට විඳීම තුළින්ම අනාගත සතුට උපයාගනු ලබන නිසාවෙනි.එනම් ඇති සාධක නිසා වත්මන් මනසෙහි ඇති වූ සතුට,නැති සාධක වෙනුවෙන් සිදු කරනු ලබන සටන අතරතුර වුවත්, සාපේක්ෂ උච්චාවචනයන් සහිතව නමුත් අනාගතය දක්වාම දුක වෙනුවට මනසෙහි බලාත්මක වනු ඇත.එවිට ක්ශය වන පාරභෞතික ලක්ෂණ වෙනුවෙන් මනසෙහි ඊනියා වටිනාකමක් ලබාදීම වෙනුවට, සදාතනික දයලෙක්කිත ලක්ෂණ වෙනුවෙන් යථාත්‍ය ඉඩක් වෙන්වනු ඇත.තම සතුට නිරපේක්ෂවද,දුක සාපේක්ෂවද දැකීමට හැකිවනු ඇත.
            ________________ සංතුෂ්ටි පරමං ධනං ________________ 
           ******************** දස්කොන් ********************

No comments:

Post a Comment